එළඹෙන අගෝස්තු 07 වැනිදා සිට 15 වැනිදා දක්වා හොංකොං හි කායි ටැක් එරීනා ක්‍රීඩාගාරයේදී 14 වැනි ආසියානු නෙට්බෝල් ශූරතාවලිය පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට ඉතා තීරණාත්මක වන්නේ, එහි අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම් දෙකට 2027 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන බැවිනි.

තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ ලින්කන් විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමඟ තරග හයකින් සමන්විත පුහුණු තරගාවලියකට එක්විය. එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ වේගය සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට හැකි විය.

ප්‍රබල නවසීලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කරට කර සටනක් ලබා දුන් අතර, එහිදී ලබාගත් අත්දැකීම් ආසියානු තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශාල පිටුවහලක් වනු ඇත. විශේෂයෙන්ම පන්දු හුවමාරු කිරීමේදී මීට වඩා අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මෙම පුහුණු තරග හරහා මනාව පැහැදිලි විය.

ආසියානු නෙට්බෝල් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාව දිනාගත් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවේ. මෙවර තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, මාලදිවයින සහ හොංකොං යන රටවල් තරග වදිනු ඇත.

මෙවර තරගාවලිය සඳහා සොමිතා ද අල්විස් මහත්මිය ප්‍රධාන පුහුණුකාරිනිය ලෙසත්, කුමාරිහාමි තෙන්නකෝන් මහත්මිය කළමනාකාරිනිය ලෙසත් කටයුතු කරති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version