නිරෝගී දිවිපෙවතක් පවත්වා ගැනීම සඳහා ස්වභාවික ආහාර සහ පාන වර්ගවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම පවතින කාර්යබහුල ජීවන රටාව තුළ ඇතිවන උගුරේ වේදනාව, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි අපහසුතා මඟහරවා ගැනීමට ආයුර්වේදයේ සඳහන් වන සරල පානයන් මහත් පිටුබලයක් වේ.
ඉඟුරු සහ මී පැණි මුසු කළ උණුසුම් පානය සෙම් රෝග සඳහා ඉතා ගුණදායකය. තලාගත් ඉඟුරු, කුරුඳු, කරදමුංගු, කරාබුනැටි සහ ගම්මිරිස් වතුර සමඟ තම්බා, එයට දෙහි යුෂ සහ මී පැණි එක් කර ගැනීමෙන් මෙම පානය සාදාගත හැකිය. කෙසේ වෙතත්, වයස අවුරුදු එකට අඩු ළදරුවන්ට මී පැණි ලබාදීම සුදුසු නොවන බව සිහි තබා ගත යුතුය.
සුදුළූණු කැඳ යනු ප්‍රතිශක්තීකරණය වර්ධනයට සහ රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම නිසි ලෙස පවත්වා ගැනීමට උපකාරී වන තවත් ගුණදායක ආහාරයකි. සහල් සමඟ සුදුළූණු තම්බා, එය පොඩිකර පොල්කිරි සහ රම්පෙ එක් කර පිසගන්නා මෙම කැඳ හෘද රෝග අවදානම අවම කිරීමටත්, අස්ථි ශක්තිමත් කිරීමටත් දායක වේ.
දකුණු ඉන්දියානු සම්ප්‍රදායික රසම් පානය ද ශරීරයේ දුර්වලතා මඟහරවා ගැනීමට සහ ආහාර රුචිය වර්ධනය කිරීමට කදිම ඔසුවකි. සියඹලා, සුදුළූණු, තක්කාලි සහ කුළුබඩු වර්ග යොදා සාදාගන්නා මෙම පානය උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින අවස්ථාවලදී පානය කිරීමෙන් ඉක්මන් සහනයක් ලබාගත හැකිය.
මෙම පානයන් නිවසේදීම සකසා ගැනීමෙන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගැනීමට සහ රෝගාබාධ අවම කර ගැනීමට හැකියාව ලැබේ. කෙසේ වෙතත්, රෝග ලක්ෂණ දිගුකාලීනව පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
