මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය ජූලි 06 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකළ බන්ධනාගාර නිලධාරියෙකු පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී මෙම තීරණය ගත් බවයි.

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ අවසන් දොරටුවද කඩාගෙන පලා යාමට උත්සාහ කිරීමේදී මෙම ගැටුම හටගෙන තිබුණි. එහිදී රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට එල්ල කළ මාරාන්තික ප්‍රහාර හමුවේ, නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම බන්ධනාගාර නීති රීතිවලට අනුකූලව සිදු වූවක් ද යන්න සහ බලය ඉක්මවා යාමක් සිදුව තිබේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version