‘පුනරුදයේ පුරවර’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා කුඩා පාලම් 881ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස, කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ඔරුගොඩවත්ත – කර්මාන්තපුර දෙපා ඇල හරහා පිහිටි පාලම නැවත ඉදිකිරීම පසුගියදා ආරම්භ විය.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 93ක මුදලක් වැය කිරීමට නියමිතය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය හා නාගරික ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කර ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම රජයේ අපේක්ෂාවයි.
සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස සැලසුම් කර ඇති මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ, 2026 වසර තුළ පාලම් 100ක් රුපියල් මිලියන 1,050ක වියදමින් සංවර්ධනය කිරීමට නියමිතය. සියලුම පළාත් පාලන ආයතනවලින් ලබාගත් වාර්තා මත පදනම්ව ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පාලම් ඉදිකිරීම මගින් ගමනාගමන පහසුකම් මෙන්ම ගංවතුර පාලනය වැනි ප්‍රතිලාභ රැසක් ප්‍රදේශවාසීන්ට හිමිවන බවයි. සංවර්ධන කටයුතු වලදී නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය එක්ව වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙම උත්සවය සඳහා කොලොන්නාව නගර සභාවේ සභාපතිවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.
