පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරි අගෝස්තු මාසයේ මැද භාගය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානමක් පැවතිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අනතුරු අඟවයි. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වන විට රෝගීන් වාර්තා වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ක්‍රියාත්මක කරනු ලබන මර්දන වැඩසටහන් සඳහා මහජන සහාය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කරයි. තම නිවෙස්, පාසල් සහ සේවා ස්ථාන අවට පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන පරිදි පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, දිවයින පුරා පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි විශේෂ මර්දන වැඩසටහනක් අද (16) සිට ආරම්භ කෙරේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි, මෙම වැඩසටහන ඉදිරි සති දෙකක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඩෙංගු ව්‍යාප්තිය බහුලව වාර්තා වන කලාප හඳුනාගෙන, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ ජනතාව දැනුවත් කිරීම මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version