දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජනතාවට සිදුවූ හානි අවම කරගැනීම සඳහා රජය ප්‍රමාණවත් පූර්ව ක්‍රියාමාර්ග නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සමක් ලබන ඔක්තෝබර් 30 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබීය. එහිදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිට්වා සුළි කුණාටුව පිළිබඳව කල්තියා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත්, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය අපොහොසත් වූ බව පෙත්සම්කරු පෙන්වා දෙයි. මෙම අසාර්ථකත්වය හේතුවෙන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටී.
අනාගතයේ මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයන් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා රජයට නිසි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබේ.
