කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ සේවා කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් නව සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය විය.

මෙම ව්‍යාපෘතිය යටතේ වසර 2055 වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර ඇත. එහි පළමු පියවර ලෙස, 2027 වසර අවසන් වීමට පෙර පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තයක් ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසාරණ කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබේ.

ගුවන්තොටුපොළ සේවා ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි. ඒ සඳහා ඩිජිටල් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් පවතින බව නිලධාරීන් පෙන්වා දුන්හ. මීට අමතරව, මගී ප්‍රවාහන සේවා විධිමත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

අභ්‍යන්තර ගුවන්තොටුපොළවල සංවර්ධනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළේ සිවිල් මගී මෙහෙයුම් ආරම්භ කිරීමේදී ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමටත්, යාපනය ගුවන්තොටුපොළ නවීකරණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් සාකච්ඡා විය.

මත්තල ගුවන්තොටුපොළ ලබන අලාභය අවම කර ගැනීම සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා ආයෝජන අවස්ථා කැඳවා ඇත. රාජ්‍ය ආයතන සතු මූල්‍ය ශක්තිය උපයෝගී කරගනිමින් මහජන බදු මුදල්වලට බරක් නොවන ලෙස සංවර්ධන කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට අවධාරණය කරන ලදී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version