ඇමරිකා එක්සත් ජනපදයේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් විදේශීය සිසුන්, සංස්කෘතික හුවමාරු වැඩසටහන්වලට සම්බන්ධ පුද්ගලයන් සහ මාධ්‍ය නියෝජිතයන් සඳහා වන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේ තීරණාත්මක වෙනසක් සිදු කර ඇත. මීට පෙර දින නියමයක් නොමැතිව එරට රැඳී සිටීමට ඉඩ ලබා දුන් “තත්ව කාලසීමාව” (Duration of Status) ක්‍රමය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

නව රෙගුලාසිවලට අනුව, F, J සහ I වර්ගීකරණයන් යටතේ ඇමරිකාවට ඇතුළු වන සංක්‍රමණ නොවන වීසා දරන්නන් සඳහා ස්ථාවර කාල සීමාවක් ස්ථාපිත කර ඇත. මෙම පියවර ගනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ වීසා බලපත්‍ර අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීමේ අරමුණින් බව බලධාරීන් පවසයි.

නව නීතිය යටතේ, ශිෂ්‍ය වීසා (F) සහ හුවමාරු වැඩසටහන් වීසා (J) දරන්නන්ට ඔවුන්ගේ වැඩසටහන් කාලය සඳහා පමණක් එරට රැඳී සිටීමට අවසර ලැබෙන අතර, එම කාලය උපරිම වශයෙන් වසර හතරකට සීමා වේ. අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අමතර කාලයක් අවශ්‍ය වන අයෙක් වේ නම්, ඔවුන් එක්සත් ජනපද පුරවැසිභාවය සහ ආගමන සේවා දෙපාර්තමේන්තුව හරහා ඒ සඳහා විධිමත් ලෙස අයදුම් කළ යුතුය.

එමෙන්ම, උපාධිය ලැබීමෙන් පසු හෝ පාසල් මාරු කිරීමේදී පිටවීමට සූදානම් වීම සඳහා ලබා දී තිබූ දින 60ක සහන කාලය දින 30 දක්වා අඩු කර ඇත. මෙම නව නීති මාලාව ඉදිරි දින කිහිපය තුළ ෆෙඩරල් ලේඛනයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දින 60කින් බලාත්මක වනු ඇත.

මෙම වෙනසත් සමඟ දැනට ඇමරිකාවේ රැඳී සිටින වීසා බලපත්‍රලාභීන් නව පද්ධතියට ස්වයංක්‍රීයව අනුගත වනු ඇති අතර, ඔවුන්ගේ රැඳී සිටීමේ කාලය ද උපරිම වසර හතරකට සීමා කෙරෙනු ඇත. වසර ගණනාවක් පුරා පැවති යල් පැන ගිය ක්‍රමවේදය වෙනස් කිරීම මගින් ආගමන වංචා අවම කර ගැනීමට හැකි වනු ඇති බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version