අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා වට් ෆ්රා චෙතුෆොන් විමොල්මංග්කලාරාම් රාජවරමහාවිහාරයේ නියෝජ්‍ය විහාරාධිපති අතිපූජ්‍ය ෆ්රා ධම්මවජිරපණ්‍යාචාර්ය මහථෙර හිමි ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මහාචුලාලොංකෝර්න්රාජවිද්‍යාලය විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටක අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ හිමියන් ද මෙම හමුවට සහභාගී වූහ.
දෙරට අතර පවතින ශතවර්ෂ ගණනාවක බෞද්ධ සබඳතා, ආගමික හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ හිමිවරුන් අතර සුහද අදහස් හුවමාරුවක් සිදු විය.
සංවාදය අවසානයේදී, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින පොදු බෞද්ධ උරුමය සංකේතවත් කරමින් තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් විසින් අග්‍රාමාත්‍යවරිය වෙත විශේෂ සමරු තිළිණ පිරිනැමීම ද සිදු කෙරිණි.
