ශ්‍රී ලංකාවේ බෞද්ධ, ඓතිහාසික සහ සංස්කෘතික උරුමය සංකේතවත් කරන පුස්කොළ පොත් විශාල සංඛ්‍යාවක් මේ වනවිට බරපතළ තර්ජනයකට මුහුණ දී සිටී. විශේෂයෙන්ම මුහුදුබඩ ප්‍රදේශවල පිහිටි විහාරස්ථානවල තැන්පත් කර ඇති මෙම පුස්කොළ පොත්, එම ප්‍රදේශවල පවතින ලවණ සහිත වායුගෝලීය තත්ත්වය හේතුවෙන් වේගයෙන් දිරාපත් වෙමින් පවතින බව සංරක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙම පොත් සංරක්ෂණය සඳහා අත්‍යවශ්‍ය වන දුම්මල තෙල් වැනි ද්‍රව්‍ය නිපදවීමේ සාම්ප්‍රදායික දැනුම සහිත ශිල්පීන් අද වනවිට විරල වීම ද මෙම උරුමය රැකගැනීමට ඇති ප්‍රධාන බාධාවක් වී තිබේ. 1952 වසරෙන් පසු මෙරට පුස්කොළ පොත් පිළිබඳ නිල ජාතික සංගණනයක් සිදුකර නොමැති වීම නිසා, තවමත් ලේඛනගත නොවූ දුර්ලභ ගණයේ පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් විහාරස්ථාන සහ පුද්ගලික එකතු කිරීම්වල පවතින බව පර්යේෂකයෝ විශ්වාස කරති.

කෙසේ වෙතත්, පාණදුරවාදයේ 150 වැනි සංවත්සරයට සමගාමීව ආරම්භ කළ වැඩසටහනක් යටතේ මේ වනවිට විහාරස්ථාන 14ක පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. බෞද්ධාලෝක පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තාක්ෂණික දායකත්වයෙන් මෙම කටයුතු ක්‍රියාත්මක කෙරිණි.

මෙම සංරක්ෂණ ක්‍රියාවලියේදී වසර 600ක් පමණ පැරණි ‘කවිමිණි නාමාවලිය’ සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ සාමණේර අවධියේ ලියැවුණු පාලි ව්‍යාකරණ ග්‍රන්ථයක් වැනි අතිශය දුර්ලභ ලේඛන රැසක් හඳුනා ගැනීමට හැකිවී තිබීම විශේෂත්වයකි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version