ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියගේ දශක හතක කලා මෙහෙවර ඇගයීම උදෙසා සංවිධානය කළ විශේෂ හරසර ප්‍රණාම උළෙලක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, එහිදී ආචාර්ය අත්තනායකයන්ගේ විශේෂ ඡායාරූපයක් නිරාවරණය කිරීමද අග්‍රාමාත්‍යතුමියගේ අතින් සිදු විය.

රජයේ ලලිත කලායතනයෙන් සංගීතය හදාරා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සිය කලා දිවිය අරඹා ඇති ඇය, මේ වන විට ගීත 5,000කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්ෂේත්‍රයේද සිය නාමය සනිටුහන් කර ඇත.

සිංහල, දෙමළ, හින්දි, උර්දු, බෙංගාලි, මරාටි, නේපාල, මැලේ, සංස්කෘත සහ ඉංග්‍රීසි ඇතුළු භාෂා 11කින් සිය ගායන ප්‍රතිභාව විදහා දක්වමින් ඇය ඉටු කර ඇති විශිෂ්ට මෙහෙවර මෙහිදී අග්‍රාමාත්‍යතුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ඇගයීමට ලක් විය.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිණිඳුම සුනිල් සෙනෙවි සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version