දකුණු පළාතේ කෘෂිකාර්මික අංශය නගාසිටුවීමේ අරමුණින් වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි ජනතාවගේ දිගුකාලීන අපේක්ෂාවක් වූ ඓතිහාසික ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් ආරම්භ විය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.
රුපියල් මිලියන 594.3ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මාස 20ක කාලයක් තුළ නිම කිරීමට සැලසුම් කර ඇත. දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව මෙය ක්‍රියාත්මක කරයි.
1952 වසරේ ඉදිකරන ලද මෙම අමුණ මගින් වැලිගම සහ ගාල්ල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් ගණනාවක කුඹුරු අක්කර 3,000කට අධික ප්‍රමාණයක් සහ හේන් වගාවන් සඳහා ජලය සැපයේ. 2006 වසරෙන් පසු නඩත්තු කටයුතු අඩපණ වීම සහ 2017 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මෙම අමුණ දැඩි ලෙස අබලන් වී තිබුණි.
මෙම ව්‍යාපෘතිය අවසන් වීමත් සමඟ ගොවි පවුල් 2,000කට ආසන්න ප්‍රමාණයකට සහ ප්‍රදේශයේ ජනතාව 57,000කට වැඩි පිරිසකට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
