ශ්‍රී ලංකාවේ සාගර උරුමය සහ වෙරළබඩ කලාපයන්හි පාරිසරික සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
පසුගිය කාලසීමාවේදී පැවති සාකච්ඡාවල තීරණවල ප්‍රගතිය සහ ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත ධීවර වරායන්හි ආරක්ෂක හිඩැස් හඳුනාගැනීම මෙහිදී මූලික වශයෙන් අවධානයට ලක් විය. විශේෂයෙන්ම ධීවර වරායන් ආශ්‍රිතව සිදුවන තෙල් හා රසායනික ද්‍රව්‍ය කාන්දුවීම් මෙන්ම හදිසි ගිනි අනතුරු වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම කටයුතු විධිමත් කිරීම සඳහා සංචාරක, ආරක්ෂක, ධීවර අමාත්‍යාංශ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළත් ඒකාබද්ධ කමිටුවක් දැනටමත් පිහිටුවා ඇති අතර, එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී කරුණු අනාවරණය විය. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC) හරහා පාරිසරික අභියෝගවලට තිරසාර විසඳුම් ලබාදීම සඳහා වන ඉදිරි සැලැස්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, පොලිස් සාගර කොට්ඨාසය සහ ස්වභාවධර්මය සංරක්ෂණය සඳහා වන අන්තර්ජාතික සංගමය (IUCN) ඇතුළු රාජ්‍ය ආයතන රැසක ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වූහ.
