යතුරුපැදි ධාවනයේදී ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) සහතිකය සහිත ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, රජය විසින් ක්‍රියාත්මක කර ඇති මාර්ග ආරක්ෂණ ජාතික සැලැස්ම යටතේ රිය අනතුරු අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි. වසරකට සිදුවන රිය අනතුරු මරණවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු වන අතර, ඉන් බහුතරයක් හිසට සිදුවන බරපතළ තුවාල හේතුවෙන් සිදුවන බව දත්ත මගින් තහවුරු වී ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒකාබද්ධව වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරනු ලබයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පෙන්වා දුන්නේ, 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ පමණක් යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 749 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පොලීසියෙන් බේරීම සඳහා පමණක් නොව, තම ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සෑම විටම ප්‍රමිතිගත හිස්වැසුමක් පැළඳ ගමන් කරන ලෙස බලධාරීන් යතුරුපැදිකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
