සම්මානනීය හොලිවුඩ් රංගන ශිල්පිනී රෝසමන්ඩ් පයික් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණි. මයිනින් ඇඩ්වයිසරි ගෲප් (MAG) ආයතනයේ ජාත්‍යන්තර තානාපතිනිය ලෙස කටයුතු කරන ඇය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළාය.

මෙම හමුවට පෙර රෝසමන්ඩ් පයික් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වෙමින් බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණය කළාය. එහිදී ඇය එම අවදානම් සහගත කාර්යයේ නිරත සේවක සේවිකාවන් හමුවී ඔවුන්ගේ කැපවීම ඇගයීමට ලක් කළ අතර, පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ද එක් වූවාය.

මේ වන විට ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ සහිත භූමියෙන් 90%කට වැඩි ප්‍රමාණයක් ඉවත් කර අවසන් බවත්, ඉතිරිව ඇත්තේ වර්ග කිලෝමීටර් 20.8ක කුඩා ප්‍රදේශයක් පමණක් බවත් ඇය පෙන්වා දුන්නාය. ඉදිරි සිවු වසර තුළ එම භූමි ප්‍රමාණය ද බිම් බෝම්බවලින් නිදහස් කර ශ්‍රී ලංකාව ලොව ප්‍රථම බිම් බෝම්බවලින් තොර රටවල් අතරට එක් කිරීමේ ඉලක්කය ඇය අවධාරණය කළාය.

බිම් බෝම්බ තර්ජනය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම තුළින් උතුරු සහ නැගෙනහිර පළාත්වල කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් සංවර්ධනයට විශාල රුකුලක් ලැබෙනු ඇතැයි ද මෙම හමුවේදී සාකච්ඡා විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version