වර්තමානයේ නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් අතර බඩවැල් ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඉහළ යමින් පවතින බව ආමාශ ආන්ත්‍රික අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස තරුණ පරපුර කෘත්‍රිම ආහාර සඳහා දක්වන වැඩි නැඹුරුතාව පෙන්වා දිය හැකිය. ස්වභාවික එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ගවලින් බැහැරව පහසුව තකා කෘත්‍රිම ආහාර රටාවකට හුරුවීම බඩවැල් ආශ්‍රිත රෝග වර්ධනය වීමට බලපා ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මීට අමතරව, මොළය සහ බඩවැල් අතර පවතින සංකීර්ණ සම්බන්ධතාවය හෙවත් ‘gut-brain axis’ ක්‍රියාවලියද මෙම රෝගී තත්ත්වයන් කෙරෙහි බලපායි. විශේෂයෙන්ම අධික ආතතිය සහ කාංසාව වැනි මානසික තත්ත්වයන් බඩවැල්වල ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපෑම් ඇති කරන බව ඔහු අවධාරණය කරයි.
මෙවැනි ජීවන රටාවන් සහ ආහාර පුරුදුවල වෙනස්කම් හේතුවෙන් තරුණ පිරිස් අතර ‘Irritable Bowel Syndrome’ (IBS) වැනි රෝගී තත්ත්වයන් බහුලව දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට සහ සමබර ජීවන රටාවකට හුරුවීම මගින් මෙම තත්ත්වයන් පාලනය කරගත හැකි බව වෛද්‍ය මතයයි.
