ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින පෙට්‍රල් ත්‍රිරෝද රථ ලක්ෂ 12කට අධික ප්‍රමාණය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථ බවට පරිවර්තනය කිරීම තුළින් වාර්ෂික ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 500කින් පමණ අවම කරගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පෙන්වා දෙයි.

එම වැඩසටහන විසින් සකස් කරන ලද නවතම වාර්තාවකට අනුව, මෙම පරිවර්තනය මගින් ඉන්ධන පිරිවැය අඩු කිරීමට අමතරව නාගරික වායු ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ පරිසර හිතකාමී රැකියා අවස්ථා නිර්මාණය කිරීමට ද විශාල දායකත්වයක් ලැබෙනු ඇත.

ප්‍රවාහන අමාත්‍යාංශය සහ UNDP එක්ව ක්‍රියාත්මක කරන ලද නියමු ව්‍යාපෘතියක ප්‍රතිඵලවලට අනුව, විදුලි ත්‍රිරෝද රථයකට මාරුවීමෙන් ටැක්සි රියදුරෙකුට මාසිකව රුපියල් 30,000ත් 80,000ත් අතර ඉන්ධන වියදමක් ඉතිරි කරගත හැකිය. මීට අමතරව, වාර්ෂික නඩත්තු වියදමෙන් රුපියල් 50,000ක පමණ සාමාන්‍ය අගයක් ඉතිරි කර ගැනීමට ද රියදුරන්ට අවස්ථාව උදාවේ.

මෙම වැඩසටහන මගින් කාබන් විමෝචනය අවම කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති අතර, එක් විදුලි ත්‍රිරෝද රථයකින් වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 1.68ත් 2.8ත් අතර ප්‍රමාණයක් පරිසරයට මුදා හැරීම වැළැක්විය හැකි බව ගණන් බලා ඇත.

කෙසේ වෙතත්, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා පැහැදිලි ආරක්ෂක ප්‍රමිති, මූල්‍ය පහසුකම්, ආරෝපණ යටිතල පහසුකම්, රක්ෂණ සහ බැටරි ප්‍රතිචක්‍රීකරණය වැනි ක්ෂේත්‍රවල පුළුල් රාමුවක් අවශ්‍ය බව UNDP අවධාරණය කරයි. ඒ සඳහා රජය, මූල්‍ය ආයතන සහ නිෂ්පාදකයින් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version