නෝර්වුඩ් පොලිස් ස්ථානය සහ ධර්මරාජ විහාරස්ථානය අසල පිහිටි ටර්පන්ටයින් ගස් දෙකක් හේතුවෙන් ප්‍රදේශයේ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ගස් ඉතා විශාල ලෙස වැඩී තිබීම නිසා ඒවා කඩා වැටීමේ අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

මෙම ගස් කඩා වැටුණහොත් නෝර්වුඩ් පොලිස් ස්ථානයට, ධර්මරාජ විහාරස්ථානයට සහ අසල පිහිටි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට දැඩි හානි සිදුවිය හැකිය. එමෙන්ම, බගවන්තලාව – නෝර්වුඩ් ප්‍රධාන මාර්ගයට සමීපව මෙම ගස් පිහිටා තිබීම නිසා මාර්ග ගමනාගමනයට ද බාධා ඇතිවීමේ තර්ජනයක් පවතී.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාව සහ පවතින තද සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම අනතුර තවදුරටත් උග්‍ර වී තිබේ. මීට වසර දෙකකට පෙර සිටම මෙම ගස් ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද, මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එබැවින්, යම් බරපතළ අනතුරක් සිදුවීමට පෙර වගකිවයුතු බලධාරීන් වහා මැදිහත් වී මෙම අනාරක්ෂිත ගස් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version