ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සහ ඔහුගේ බිරිඳ යෙහාලි සතු ගාල්ලේ පිහිටි පවුලේ නිවස, ඕස්ට්‍රේලියානු ABC නාලිකාවේ විකාශය වන ‘Culture by Design’ වැඩසටහනේ දෙවන වාරයේදී විශේෂයෙන් ප්‍රදර්ශනය කර ඇත.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලු කොටුව තුළ පිහිටි මෙම නිවස වසර 120ක් පමණ පැරණි ලන්දේසි යටත් විජිත සමයට අයත් ගොඩනැගිල්ලකි. සංගක්කාර යුවළ විසින් වසර හයකට ආසන්න කාලයක් පුරා සිදුකළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් මගින් මෙම නිවස නවීකරණය කර තිබේ.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ගෘහ නිර්මාණ ශිල්පීන් වන ජීවන් ඩි’සූසා සහ මුරාඩ් ඉස්මයිල්ගේ මඟපෙන්වීම යටතේ සිදුකර ඇති අතර, නිර්මාණ ශිල්පිනී අනිකා ප්‍රනාන්දු ද ඊට සිය දායකත්වය ලබා දී ඇත. පැරණි ගෘහ නිර්මාණ ශෛලියේ අනන්‍යතාව ආරක්ෂා කරමින් නවීන පහසුකම් එක් කිරීම මෙහි විශේෂත්වයයි.

ඓතිහාසික උරුමයක් සංරක්ෂණය කරමින් සමකාලීන ජීවන අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම නිවස මනා නිදසුනක් බව එම වැඩසටහන පෙන්වා දෙයි. ගාලු කොටුවේ සංස්කෘතික වටිනාකමට හානි නොවන පරිදි සිදුකර ඇති මෙම නිර්මාණය මේ වන විට ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version