ගුරු වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ගුරු වැටුප් ගෙවීමේ කිසිදු ගැටලුවක් නොමැති අතර නියමිත පරිදි වැටුප් ගෙවීම් සිදුවන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. විදුහල්පතිවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලයක සිට ක්‍රමවත් ආකාරයකින් සිදු නොවූ බව පිළිගත් ඇය, එම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පවත්වන බව සඳහන් කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පවතින චක්‍රලේඛ සහ ක්‍රියාපටිපාටි සමාලෝචනය කෙරෙමින් පවතින බවද ඇය පැවසුවාය. විදුහල්පතිවරුන් පත් කිරීමේදී අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව කාර්යසාධනය පදනම් කරගත් සාධකද සැලකිල්ලට ගත යුතු බව රජයේ ස්ථාවරය බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
එමෙන්ම විදුහල්පතිවරුන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සඳහා මේ වන විටත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත්, 2027 වසරේදී ජාතික අධ්‍යාපන ආයතනය හරහා ආයතනික ශක්තිමත් කිරීමේ වැඩසටහනක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
