රටක් ලෙස අප ඉදිරියට යන්නේ නව නිර්මාණ සිදු කිරීමෙන් පමණක් නොව, පවතින දේ අලුත් කරමින් ජනතාවට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමෙන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ ශ්‍යාමෝපාලි වනවාස නිකායේ මහානායක පදවි ප්‍රාප්ත මහෝපාධ්‍යාය පූජ්‍ය මහකන්දේ රතනපාල හිමියන් වෙත අභිෂේක පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වෙමිනි.

වනවාසී භික්ෂූන් වහන්සේලාගේ සරල බව, විනය සහ ස්වභාවධර්මය සමඟ බැඳී ජීවත් වන ආකාරය නූතන සමාජයට විශිෂ්ට ආදර්ශයක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. රට නවීකරණය කිරීමේදී තාක්ෂණය සහ යටිතල පහසුකම් පමණක් නොව, ඒවා වගකීමෙන් යුතුව භාවිතා කළ හැකි මානව ගුණාංග ද දියුණු කරගත යුතු බව ඇය අවධාරණය කළාය.

මහා සංඝරත්නය විසින් සමාජය තුළ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීමට ලබාදෙන මඟපෙන්වීම රජයේ ඉදිරි ගමනට විශාල ශක්තියක් බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. රටක් පරිවර්තනය කිරීමේ වගකීම රජයට පමණක් පැවරිය නොහැකි බවත්, නව පද්ධතීන් සහ අවස්ථාවන් නිසි ලෙස රැකබලා ගනිමින් අනාගත පරපුරට දායාද කිරීම සැමගේ වගකීමක් බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාව ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගේදාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version