වත්මන් රජය යටතේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සම්බන්ධයෙන් ජනතාව තුළ යළිත් විශ්වාසයක් ඇති වී තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව, අමාත්‍යවරයා කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක නිරත විය. එහිදී අතුරුදහන් වූ පවුල් කිහිපයක නිවෙස් වෙතම ගොස් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළේය.

කිලිනොච්චිය ඉරණමඩු පාර කණගාම්භිහීකුලම් ප්‍රදේශයේ අතුරුදහන් වූ පවුලක් වෙත පුනර්ජීවන දීමනාව ලබාදීමට අදාළ සහතිකපත් භාරදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ සිදු කෙරිණි. 2009 වසරේදී අතුරුදහන් වූ දියණියන් දෙදෙනෙකුගේ දෙමාපියන් වෙත මෙම ආර්ථික සහනය ලබා දීම සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අතුරුදහන් වූ පවුල්වල සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නංවාලමින් ඔවුන්ට ආර්ථිකමය ශක්තියක් ලබා දීමේ අරමුණින් මෙම දීමනා ලබා දෙන බවයි. අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට පැමිණිලි එකොළොස් දහසක් පමණ ඉතිරිව ඇති බවත්, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල පවතින පැමිණිලි මෙම වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය කාලය තුළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය කෙරෙහි ජනතාව තුළ නිසි විශ්වාසයක් නොතිබූ බවත්, නමුත් වර්තමාන රජය යටතේ එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ජනතා විශ්වාසය දිනා ගැනීමට හැකි වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version