පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු බැංකු ගිණුම් 68ක් සහ විවිධ අරමුදල්වලට අදාළ ගිණුම් විශාල සංඛ්‍යාවක් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි. කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
විශ්වවිද්‍යාලයේ ඇතැම් ව්‍යාපෘති අවසන් වීමෙන් පසුවද ඒවාට අදාළ ගිණුම් වසා නොදමා පවත්වාගෙන යාම සහ අරමුදල් පිළිබඳ තොරතුරු මධ්‍යගතව නිරීක්ෂණය නොකිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය.
පර්යේෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතියකින් තොරව සහ පර්යේෂණ වාර්තා ලබාගැනීමකින් තොරව අනධ්‍යයන හා විධායක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59 දෙනෙකුට පර්යේෂණ දීමනා ගෙවා ඇති බවද අනාවරණය විය. එම නිලධාරීන්ගෙන් 28 දෙනෙකුම 2023 ජුනි මාසය වන විටත් අදාළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබීම බරපතල තත්ත්වයක් බව කාරක සභාව පෙන්වා දුන්නේය.
පර්යේෂණ දීමනා අමතර වැටුපක් ලෙස භාවිත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අවධාරණය කළ කෝප් කමිටුව, රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව සිදුකර ඇති සියලුම ගෙවීම් සහ තනතුරු නීත්‍යානුකූලව නිරවුල් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.
මීට අමතරව, විශ්වවිද්‍යාලයේ අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ ප්‍රමාදය හේතුවෙන් මුල් ඇස්තමේන්තුව රුපියල් කෝටි 46 සිට කෝටි 140 දක්වා ඉහළ යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. සංවර්ධන සැලසුම් පැහැදිලි කාර්ය සාධන දර්ශක සහිතව සකස් කරන ලෙසත්, විගණන නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් විශ්වවිද්‍යාල බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
