ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ප්‍රථම වතාවට සංවිධානය කළ පර්යේෂණ සම්මන්ත්‍රණය පසුගියදා (25) පිළිමතලාවේදී පැවැත්විණි. ‘තිරසාර ග්‍රාමීය සංවර්ධනය’ යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහන සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ග්‍රාමීය සංවර්ධනය යනු මංමාවත්, ගොඩනැගිලි හෝ කෘෂිකාර්මික යටිතල පහසුකම්වලට පමණක් සීමා වූවක් නොවිය යුතු බවයි. ජනතාවගේ ජීවන තත්ත්වය සහ ඔවුන් සතු කුසලතා වර්ධනය කිරීම මෙම සංවර්ධන ක්‍රියාවලියේ මූලික අරමුණ විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

දරිද්‍රතාව යනු හුදෙක් පවුලක ආදායම මත පමණක් මනිනු ලබන සාධකයක් නොවන බවත්, නිවාස, පෝෂණය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකියා අවස්ථා වැනි කරුණු රැසක් ඊට බලපාන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස වැනි අභියෝග හමුවේ ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණය, මූල්‍ය පහසුකම් සහ වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්. එස්. කුරේ මහතා විසින් මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version