ශ්‍රී ලංකාවේ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්රවල සංවර්ධන කටයුතු වෙනුවෙන් කැනඩාවේ සහාය ලබාගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඉසෙබෙලා මාර්ටින් මහත්මිය අතර මෙම හමුව සිදුවිය.
වරාය මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ නාවික සේවා පද්ධති සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී මූලික වශයෙන් සාකච්ඡාවට ලක් විය. වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීම පිළිබඳව ද මහකොමසාරිස්වරිය අදහස් පළ කළාය.
බලශක්ති ක්ෂේත්රය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ත්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි සංකීර්ණයෙන් ටැංකි 24ක් නැවත භාවිතයට ගනිමින් ඉන්ධන ගබඩා කිරීමේ සහ නාවික ඉන්ධන සැපයුම් පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය. මීට අමතරව සූර්ය බලශක්තිය සහ බැටරි බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන්සේවා ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම, පුහුණුව සහ නවීන උපකරණ ලබාදීමට කැනඩාව එකඟතාව පළ කර ඇත. දෙරට අතර ආයෝජන සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැනඩාව සූදානම් බවද මහකොමසාරිස්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
