නේපාලය සහ චීනය අතර පිහිටි හිමාලයානු කලාපයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට දැවැන්ත මානුෂීය ව්‍යසනයක් නිර්මාණය වී තිබේ. සුනාමියක ස්වරූපයෙන් හමා ආ ජල කඳ හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී ඇති අතර, අතුරුදහන් වූවන් සොයා දෙරටේම ගලවා ගැනීමේ කණ්ඩායම් දැඩි මෙහෙයුමක නිරතව සිටිති.
නේපාල පොලිසිය පවසන පරිදි, සිකුරාදා වන විට අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 2,400 ඉක්මවා ගොස් ඇති අතර, තහවුරු වූ මරණ සංඛ්‍යාව 626ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙහිදී අතුරුදහන් වූවන් අතර ජල විදුලි ව්‍යාපෘතිවල සේවය කළ කම්කරුවන් 933 දෙනෙකු සහ කයිලාෂ් කන්ද වෙත වන්දනාවේ ගිය පිරිස් ද සිටින බව වාර්තා වේ.
ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙන්නේ 93,000කට ආසන්න පිරිසක් මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇති බවයි. අයිස් සහ මඩ මිශ්‍රිත ජල ප්රවාහයන් සහ අඛණ්ඩව පවතින ගංවතුර අවදානම හේතුවෙන් සහන කටයුතු සිදු කිරීම දැඩි අභියෝගයක් වී තිබේ. විශේෂයෙන්ම ත්‍රිෂූලි-3A ජල විදුලි ව්‍යාපෘතියේ උමං මාර්ගවල සිරවී සිටින පිරිස් බේරා ගැනීමට හමුදාව විශේෂ මෙහෙයුම් දියත් කර ඇත.
චීන පාලනය යටතේ පවතින ටිබෙට් ප්‍රදේශයෙන් ද පුද්ගලයින් 554 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර, හත්දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇත. කලාපයේ පවතින අයහපත් කාලගුණය සහ නැවත ගංවතුර ඇතිවීමේ අවදානම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරීන් පියවර ගෙන තිබිණි.
දිවි ගලවා ගත් පිරිස් පවසන්නේ තමන් සතු සියල්ල ක්ෂණිකව ගසාගෙන ගිය බවයි. ආහාර සහ පානීය ජල සැපයුම් හිඟවීමත් සමඟ පීඩාවට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු මේ වන විට කඩිනම් කර ඇත. ඉන්දියාවේ ගංගා ආශ්රිත ප්‍රදේශවලින් ද මෙම ගංවතුරට හසුවූ බවට සැක කෙරෙන මළ සිරුරු කිහිපයක් හමුවීම විශේෂත්වයකි.
