ඉරානය ආර්ථික වශයෙන් තනි කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපදය දියත් කර ඇති වැඩපිළිවෙල තවදුරටත් දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉරානය සමඟ මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යන චීන බැංකු ඉලක්ක කරගනිමින් නව සම්බාධක පැනවීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
ඕවල් කාර්යාලයේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, තමන් ගන්නා තීරණ කලින් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. මෙම ප්‍රකාශයත් සමඟ චීන බැංකු වෙත යම් ආකාරයක රතු එළියක් දැල්වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, දැඩි ආර්ථික සම්බාධක මගින් ඉරාන රජය මූල්‍යමය වශයෙන් අඩපණ කිරීමට ඇමෙරිකාව කටයුතු කරන බවයි. එහි එක් පියවරක් ලෙස ඉරානය සමඟ වෙළඳ සබඳතා පවත්වන අනෙකුත් රටවලට ද ද්විතීයික සම්බාධක පැනවීමේ අවදානම ඉහළ ගොස් ඇත.
චීනය ඉරානයේ ප්‍රධානතම වෙළඳ සහකරුවා වන අතර, එරට තෙල් ගනුදෙනු සහ අනෙකුත් වෙළඳ ගෙවීම් කළමනාකරණය කරන්නේ චීන බැංකු විසිනි. මීට පෙර චීනයේ සහ හොංකොංහි සමාගම් කිහිපයකට සම්බාධක පැනවුවද, චීනයේ ප්‍රධාන පෙළේ බැංකුවලට එරෙහිව මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැති වීම විශේෂත්වයකි.
