ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී 2027 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා සිදුකරන සූදානම් කිරීම් සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට බාලදක්ෂ නියෝජිතයින් කටයුතු කළහ.

එහිදී 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර, එය නිල වශයෙන් එළිදැක්වීම ද සිදු කෙරිණි. මීට අමතරව බාලදක්ෂ ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සහ අනාගත සැලසුම් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

බාලදක්ෂ ව්‍යාපාරය තවදුරටත් පාසල් මට්ටමින් ව්‍යාප්ත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා බාලදක්ෂ ව්‍යාපාරයට ලබාදිය හැකි දායකත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා ඇතුළු රජයේ නිලධාරීන් සහ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපති රන්සිරි පෙරේරා යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version