සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ අනිසි ලෙස දැරියන් ස්පර්ශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ. ඔහු පවසන්නේ නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවලදී දරුවන් තමන්ට වැඳීමට උත්සාහ කළ අවස්ථාවලදී, එය වැළැක්වීමට ගත් උත්සාහයකදී ඔවුන් ස්පර්ශ වූ බවයි.

තමන් දේශපාලනඥයන්ට වැඳීම අවශ්‍ය නොවන බවත්, දරුවන්ට තම දෙමාපියන්ට පමණක් ගරු කරන ලෙස උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. “බුලත් අත දීලා දරුවා මට වඳින්න හදනකොට, මම වඳින්න එපා පුතේ කියලා අත් දෙකෙන් උස්සනවා. මම දරුවන්ට ආදරයෙන් කතා කළේ ඔවුන්ගේ සතුට වෙනුවෙන්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම චෝදනා දේශපාලන අරමුණු පෙරදැරිව සහ ඉරිසියාවෙන් සිදුකරන ලද ඒවා බවට ඔහු චෝදනා කරයි. තමන් කිසිදු දරුවෙකු අපයෝජනයට ලක් කර නොමැති බවත්, තමන්ට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත් ඔහු අවධාරණය කළේය.

පසුගිය කාලසීමාවන්හිදී සිදුවූ ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් නිහඬව සිටි බව පෙන්වා දෙන අමාත්‍යවරයා, වර්තමානයේ තමන්ට එරෙහිව නැගෙන විවේචන දේශපාලන දෘෂ්ටිකෝණයකින් බලන ඒවා බව වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version