ශ්‍රී ලංකාවේ උග්‍රව පවතින අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්ෂේත්‍ර මෙහෙයුම් සඳහා යතුරුපැදි 294ක් එකවර ලබාදීම ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහන පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ. මෙතෙක් පැවති මානව හා භෞතික සම්පත් හිඟයට විසඳුමක් ලෙස මෙම යතුරුපැදි ලබාදීම සිදු කෙරේ. මේ හරහා දුෂ්කර මාර්ග ඔස්සේ වුවද ඉතා කෙටි කාලයකින් ගැටුම් පවතින ස්ථාන වෙත ළඟා වීමට නිලධාරීන්ට හැකියාව ලැබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ අම්පාර, පුත්තලම, පොළොන්නරුව සහ මාතලේ යන කලාප ආවරණය වන පරිදි මේ වන විට යතුරුපැදි බෙදාහැරීම සිදු කර ඇත. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වසන්ත පියතිස්ස, ඇන්ටන් ජයකොඩි සහ ටී.බී. සරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම බෙදාහැරීම් සිදු කෙරිණි.

මෙම නව වැඩපිළිවෙළ මගින් අලි මංකඩ ආශ්‍රිත මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් වඩාත් විධිමත් වනු ඇත. එමගින් ග්‍රාමීය ජනතාවගේ ජීවිත, දේපළ සහ වගාබිම් ආරක්ෂා කරමින් වන අලින්ගේ පැවැත්මද තහවුරු වන පරිදි සහජීවන යාන්ත්‍රණයක් ගොඩනැගීම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version