මහරගම අපේක්ෂා පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ආධාර ලබා ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ‘සුව උදාන’ ව්‍යාපෘතියක් මුවාවෙන් ආධාර ඉල්ලා තිබුණද, එකතු කරගත් මුදල් ‘සිරිලිය සවිය’ පදනමේ බැංකු ගිණුමකට බැර කර ඇති බවයි. මෙලෙස රුපියල් මිලියනයක මුදලක් අදාළ ගිණුමට බැර කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.
අදාළ PET ස්කෑනර් යන්ත්‍රය චීනයෙන් පරිත්‍යාගයක් ලෙස නොමිලේ ලැබීමට නියමිතව තිබියදී, එය මිලදී ගැනීම සඳහා පුද්ගලික බැංකු හරහා පවා ආධාර එකතු කිරීම බරපතළ සැකයකට තුඩු දී ඇත. රුපියල් මිලියන 50ක් පමණ වටිනා උපකරණයක් සඳහා මෙලෙස මුදල් රැස් කිරීම සාපරාධී සාවද්‍ය පරිහරණයක් විය හැකි බව විමර්ශන අංශ පෙන්වා දෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දී ඇත.
