මධ්‍යම කඳුකරයට මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයට අයත් දියඇලි පද්ධතියේ සුන්දරත්වය යළිත් කැපී පෙනෙන මට්ටමකට පැමිණ තිබේ. පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම දියඇලි බොහොමයක් සක්‍රීය වන්නේ මෙවැනි වැසි සහිත කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවලදී පමණක් වීම විශේෂත්වයකි.

මහනුවර සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් හුළුගඟ නගරය හරහා ගලා බසින මීටර් 45ක් උසැති හුළුගඟ දියඇල්ල මේ දිනවල පූර්ණ ධාරිතාවයෙන් ගලා බසී. මීට අමතරව පන්විල තවලන්තැන්න ප්‍රදේශයේ පිහිටි මීටර් 25ක් උසැති සාරි ඇල්ලද සංචාරකයන්ගේ අවධානය දිනාගනිමින් සුන්දර දසුනක් මවාපායි. සුළඟට මීදුමක් මෙන් විහිදෙමින් ගලා බසින බැවින් මෙම දියඇල්ල සාරි ඇල්ල ලෙස ප්‍රකට වී ඇත.

එමෙන්ම වත්තේගම – බඹරැල්ල මාර්ගයේ තවලන්තැන්න ප්‍රදේශයේ පිහිටි ජෝඩු ඇල්ලද මේ දිනවල ඉතා මනරම් ලෙස දර්ශනය වේ. මීටර් 45ක් උසැති මෙම දියඇල්ල එක සමාන දිය දහරා දෙකක් ලෙස කඩා හැලෙන බැවින් ජෝඩු ඇල්ල ලෙස නම් කර තිබේ. අධික වර්ෂාවත් සමඟ මෙම දියඇලි ප්‍රදේශවල සුන්දරත්වය ඉහළ ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version