මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් සහ ස්ථිර විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු වූයේ මයිලත්තමඩු–මඩුවම් ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ තණබිම් ගැටලුව සම්බන්ධයෙනි. සාම්ප්‍රදායිකව ගවයන් සඳහා භාවිත කළ තණබිම්වල වගා කටයුතු සිදුකිරීම හේතුවෙන් මෙම ගැටලුව මතුව තිබේ.

මෙම ප්‍රදේශය නිශ්චිත තණබිම් කලාපයක් ලෙස නම් කර ගැසට් කිරීමට ජනාධිපති මට්ටමින් තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. මහවැලි අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාව මත මෙම පියවර ගනු ලබන අතර, අනෙකුත් පාර්ශ්ව සඳහා විකල්ප ඉඩම් ලබාදීමට ද රජය සැලසුම් කර ඇත.

මීට අමතරව දිස්ත්‍රික්කය තුළ සිදුවන නීති විරෝධී වැලි, පස් සහ බොරලු කැණීම් මැඩපැවැත්වීමට පොලිසියේ සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහයෝගයෙන් කඩිනම් පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම වන සංරක්ෂණ නිලධාරීන් මුහුණ දෙන සම්පත් හිඟය සහ ප්‍රවාහන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එම අඩුපාඩු මඟහරවා ගැනීමට අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version