රුසියාවේ සයිබීරියානු කලාපයේ පිහිටි පර්යේෂණ ආයතනයක සේවය කළ 28 හැවිරිදි රසායනාගාර සේවිකාවකගේ හදිසි මරණයත් සමඟ එරට බලධාරීන් විසින් පුද්ගලයින් 200 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ. දාරියා ෂිපිලෝවා නම් මෙම කාන්තාව පසුගිය සැප්තැම්බර් 30 වන දින සේවයේ නිරතව සිටියදී අසනීප වී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
ඇය සේවය කළ ඉර්කුට්ස්ක් ප්ලේග්-විරෝධී පර්යේෂණ ආයතනයේදී ඇය යම් රෝග කාරකයකට නිරාවරණය වන්නට ඇති බවට සැකයක් මතුවුවද, රුසියානු බලධාරීන් එය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත. ඉර්කුට්ස්ක් ආණ්ඩුකාරවරයා ප්රකාශ කර ඇත්තේ ඇය මියගොස් ඇත්තේ නිශ්චිත හේතුවක් හඳුනා නොගත් නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් බවයි.
සෞඛ්ය බලධාරීන් සිදුකළ පරීක්ෂණවලදී මියගිය තරුණිය සමඟ සම්බන්ධතා පැවැත්වූවන් අතරින් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සහ රයිනෝ වෛරස් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇතත්, ප්ලේග් රෝගයට අදාළ කිසිදු සාක්ෂියක් තවමත් හමු වී නොමැත. කෙසේ වෙතත්, පූර්වාරක්ෂක පියවරක් ලෙස ඇය මියගිය රෝහලේ කොටස් වෙන් කිරීමට සහ ආශ්රිතයන් නිරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
මෙම සිදුවීම ජාත්යන්තර අවධානයට ලක්ව ඇත්තේ ප්ලේග් රෝගය පැතිරීමේ අවදානම පිළිබඳව පවතින බිය හේතුවෙනි. රුසියානු බලධාරීන් පවසන්නේ තත්ත්වය පාලනය යටතේ පවතින බවත්, පර්යේෂණ ආයතනයේ සෙසු කාර්ය මණ්ඩලය අතරින් රෝග ලක්ෂණ සහිත කිසිවෙකු වාර්තා වී නොමැති බවත්ය.
