මිනිස් ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙල ඇගයීමට ලක් කරමින්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2026 මානව ජාවාරම් පිළිබඳ වාර්තාවේ (TIP Report) ශ්‍රී ලංකාවට ‘ටියර් 2’ කාණ්ඩයේ ස්ථානයක් හිමිව ඇත. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව අඛණ්ඩව පස්වන වසරටත් මෙම මට්ටම පවත්වා ගැනීමට සමත් වූ අවස්ථාවකි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික මානව ජාවාරම් මර්දන කාර්ය සාධක බලකාය (NAHTTF), අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් මෙම කටයුතු මෙහෙයවයි. විශේෂයෙන්ම වින්දිතයින් ආරක්ෂා කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම සහ වැළැක්වීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇත.

මෙම කාලසීමාව තුළ ‘මානව ජාවාරම් අධීක්ෂණය සහ මැඩලීම සඳහා වූ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම (2026-2030)’ දියත් කිරීම ප්‍රධාන සන්ධිස්ථානයක් විය. එමගින් ඉදිරි වසර පහ සඳහා ජාතික මට්ටමේ ක්‍රියාකාරී රාමුවක් සකස් කර තිබේ.

එමෙන්ම, දිස්ත්‍රික් මට්ටමින් මානව ජාවාරම් මර්දන සංසද පිහිටුවීම මගින් ප්‍රාදේශීය බලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කර ඇත. අන්තර්ජාලය හරහා සිදුවන ජාවාරම් සහ තාක්ෂණය භාවිතයෙන් සිදුකරන බලහත්කාරී ක්‍රියාවන් හඳුනාගැනීම සඳහා ද විශේෂ අවධානයක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති මෙම ප්‍රගතිය, අදාළ සියලුම රාජ්‍ය ආයතන සහ පාර්ශ්වකරුවන්ගේ සාමූහික කැපවීමේ ප්‍රතිඵලයක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. පවතින අභියෝග ජය ගනිමින් ඉදිරියටත් මානව ජාවාරම් මැඩලීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව එම බලකාය වැඩිදුරටත් අවධාරණය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version