මෙරට මාර්ග සංවර්ධන හා නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය තාර හිඟය මගහරවා ගැනීම වෙනුවෙන් විකල්ප රටවල් පහකින් තාර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මීට පෙර ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉරානයෙන් උසස් තත්ත්වයේ තාර ආනයනය කළද, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ගැටලු හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට එම සැපයුම් ඇනහිට තිබුණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්. ඒ. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, දේශීය මාර්ග පද්ධතියේ කටයුතු සඳහා මසකට අවම වශයෙන් තාර මෙට්‍රික් ටොන් 20,000ක අවශ්‍යතාවයක් පවතින බවයි.

මෙම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මේ වන විට කසකස්තානය, බහරේනය, චීනය, ඉන්දියාව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් තාර ආනයනය ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර සම්බාධකවලට ලක්වීමේ බිය සහ යුද කලාප හරහා ගමන් කිරීමේදී නැව් සඳහා රක්ෂණ ආවරණ ලබා නොදීම වැනි ගැටලු හේතුවෙන් බොහෝ නැව් සමාගම් තාර ප්‍රවාහනය කිරීමට මැලිවීමක් දක්වන බවද වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version