බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ ඊයේ (15) කොළඹට ළඟා විය. අයහපත් කාලගුණය සහ මහ වැසි නොතකා දහස් සංඛ්‍යාත භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් මෙම පාගමනට එක්ව සිටියහ.

මහනුවර දළදා මාළිගා පරිශ්‍රයෙන් ආරම්භ වූ මෙම පාගමන කඩවත හරහා කොළඹ බලා ගමන් කළේය. පාගමන අතරතුර අදහස් දැක්වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියන් සඳහන් කළේ, වර්තමාන රජය භික්ෂු ගෞරවය කෙළසීමට කටයුතු කරන බවයි. ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස උන්වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

පාගමනට එක්වූ පූජ්‍ය දයාසීහ හිමියන් පවසා සිටියේ, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි. දහවල් දානය සඳහා කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ නතර වූ පාගමන අනතුරුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළේය.

මෙම අවස්ථාව සඳහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. පාගමන අවසානයේදී භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල කඳවුරු බැඳ සිය විරෝධතාවය තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version