ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තහවුරු කිරීමේ අරමුණින් නව ‘අභ්‍යන්තර කටයුතු ඒකකයක්’ (Internal Affairs Unit) නිල වශයෙන් ස්ථාපිත කර ඇත. 2025 පෙබරවාරි 18 දිනැති ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛයකට අනුව මෙම පියවර ගෙන තිබේ.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව මෙම ඒකකය පිහිටුවා ඇති අතර, ආයතනය තුළ දූෂණ අවදානම් හඳුනා ගැනීම, සදාචාරාත්මක පාලනයක් පවත්වාගෙන යාම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ.

මෙම ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කරන පුද්ගලයින්ගේ තොරතුරු දැඩි රහස්‍යභාවයකින් යුතුව ආරක්ෂා කරන බවත්, පැමිණිලිකරුවන්ට අවශ්‍ය නීතිමය ආරක්ෂාව ලබා දෙන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. අවශ්‍ය අවස්ථාවලදී අදාළ කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට ද මෙම ඒකකයට බලය ඇත.

පොදු ජනතාවට සහ රාජ්‍ය නිලධාරීන්ට තම පැමිණිලි හෝ විමසීම් 011 235 4495 යන දුරකථන අංකයෙන් හෝ 071 640 2654 යන වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ හැකිය. මීට අමතරව, [email protected] විද්‍යුත් තැපෑල හරහා ද අදාළ තොරතුරු ලබා දිය හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

ආයතනික ක්‍රියාවලීන්හි පවතින බාධාවන් හඳුනා ගනිමින් ඒවා සරල කිරීම සහ සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම ඒකකය නිරන්තර අධීක්ෂණයක නිරත වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version