ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සහ මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම සමස්ත ශ්‍රී ලාංකේය සමාජයටම පියවාගත නොහැකි පාඩුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

උන්වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර, ඊට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ජාති, ආගම් භේදයකින් තොරව සැමට කරුණාව දක්වමින් උන්වහන්සේ ඉටුකළ සේවය අතිමහත් බව ඇය සිහිපත් කළාය.

සම්බුද්ධ ශාසනයේ උන්නතිය සහ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් අඩ සියවසකට වැඩි කාලයක් උන්වහන්සේ දැක්වූ කැපවීම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්විය. විශේෂයෙන්ම සුනාමි ව්‍යසනය සහ කොරෝනා වසංගත සමයේ ජනතාවට සහන සැලසීමට උන්වහන්සේ දැක්වූ මැදිහත්වීම සහ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමට ගත් පියවර ඇය සිහිපත් කළාය.

තරුණ භික්ෂූන් වහන්සේලා සහ දරු පරපුර උන්වහන්සේගේ පරාර්ථකාමී ගමන් මඟ අනුගමනය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

මෙම අවමංගල්‍ය පූජෝත්සවය සඳහා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version