රුමේනියාවේ රැකියාවල නිරත ශ්රී ලාංකිකයන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් තහවුරු කිරීම අරමුණු කරගනිමින් ශ්රී ලංකාව සහ රුමේනියාව අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් බුකාරෙස්ට් නුවරදී පවත්වා තිබේ. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සහ රුමේනියාවේ අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ රාජ්ය ලේකම් බොග්ඩාන් ඩෙස්පෙස්කු මහතාගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මේ වන විට රුමේනියාවේ ශ්රී ලාංකික ශ්රමිකයන් 28,304 දෙනෙකු සේවයේ නියුතු බවත්, ඔවුන් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කරන බවත් රුමේනියානු බලධාරීන් මෙහිදී ප්රකාශ කළහ. ශ්රමිකයන් සූරාකෑම වැළැක්වීම සහ විනිවිදභාවයෙන් යුත් බඳවාගැනීමේ ක්රමවේද ස්ථාපිත කිරීම සඳහා දෙරටේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
විදේශ රැකියා ක්ෂේත්රයේ සිදුවන දූෂණ සහ අසාධාරණ අතරමැදි ක්රියාකාරකම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව නියෝජ්ය අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මීට අමතරව, දේශසීමා ඉක්මවා සිදුවන අපරාධ මැඩපැවැත්වීම සහ මත්ද්රව්ය විරෝධී වැඩසටහන් සඳහා රුමේනියානු රජයේ සහයෝගය ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.
පොලිස් සහයෝගීතාව, තාක්ෂණික සහාය සහ වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම මගින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ. ශ්රී ලාංකික ශ්රමිකයන්ට ආරක්ෂිත සහ ගෞරවනීය සේවා පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
