ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය ජාතික මට්ටමින් ඉහළ නැංවීමේ අරමුණින් කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් ‘i5 | FIVE Industry Excellence Journey & Awards 2026’ වැඩසටහන දියත් කර ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසන පරිදි, දේශීය නිෂ්පාදකයින්ගේ නවෝත්පාදන හැකියාවන් සහ තරගකාරීත්වය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

මෙම වැඩසටහන සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ලියාපදිංචි වී අවම වශයෙන් වසර තුනක කාලයක් සක්‍රීයව නිෂ්පාදන කටයුතුවල නිරත වන සුළු, මධ්‍යම හා මහා පරිමාණ නිෂ්පාදන ව්‍යවසායන්ට අයදුම් කළ හැකිය. කෙසේ වෙතත්, ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායන් සඳහා මෙවර අවස්ථාව හිමි නොවේ.

කර්මාන්ත 5.0 සංකල්පය පදනම් කරගෙන ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, හුදෙක් සම්මාන ප්‍රදානයකට පමණක් සීමා නොවී අනාගත කාර්මික පරිවර්තනයන් සඳහා දේශීය ව්‍යවසායකයින් සූදානම් කිරීමේ අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස සැලසුම් කර ඇත. මෙහිදී ව්‍යවසායන් 69ක් සඳහා සම්මාන පිරිනැමීමට නියමිත අතර, Enterprise Excellence, Industry Excellence සහ Transformation Capability යන ක්ෂේත්‍ර තුන යටතේ ඇගයීම් 21ක් සිදු කෙරේ.

නායකත්වය, මූල්‍ය කාර්යසාධනය, ස්වයංක්‍රීයකරණය, ඩිජිටල් හැකියාව සහ පාරිසරික තිරසාරභාවය වැනි අංශ රැසක් මෙහිදී ඇගයීමට ලක් කෙරේ. ජයග්‍රාහී ව්‍යවසායන්ගේ අත්දැකීම් අනෙකුත් ව්‍යවසායකයන් සමඟ බෙදාගැනීම සඳහා සිද්ධි අධ්‍යයන සහ වීඩියෝ නිර්මාණය කිරීමට ද කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකළ හැකි අතර, උනන්දුවක් දක්වන ව්‍යවසායකයින්ට www.ifive.idb.lk නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version