රටේ සෑම දරුවෙකුටම සමාන පහසුකම් සහිත ගුණාත්මක අධ්යාපනයක් ලබා දීමේ අරමුණින් රජය ක්රියාත්මක කරන ප්රාථමික පාසල් නවීකරණ ව්යාපෘතියේ පළමු අදියර සාර්ථකව ආරම්භ වී තිබේ. එහි පළමු පියවර ලෙස පුත්තලම, මහකුඹුක්කඩවල කනිෂ්ඨ විද්යාලයේ නව ගොඩනැගිල්ල ඊයේ (29) සිසු අයිතියට පත් කෙරුණේ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙනි.
නව අධ්යාපන ප්රතිසංස්කරණවලට අනුකූලව ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 35කට ආසන්න මුදලක් වැය කර ඇත. සුහුරු පුවරු, ක්රියාකාරකම් කාමර සහ කියවීම් කුටිවලින් සමන්විත මෙම ගොඩනැගිල්ල ආබාධ සහිත සිසුන්ට ද පහසුවෙන් ප්රවේශ විය හැකි පරිදි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මීට අමතරව, එම පාසලේ ප්රාථමික අංශයේ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 11ක් වැය කර තිබේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්රාමාත්යවරිය සඳහන් කළේ, නගරයේ සහ ග්රාමීය පාසල් අතර පවතින අධ්යාපන අවස්ථාවල විෂමතා අවම කිරීම රජයේ ප්රධාන අරමුණ බවයි. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන ප්රතිපත්ති ප්රකාශය යථාර්ථයක් කරමින්, රටේ ඕනෑම ප්රදේශයක දරුවෙකුට ගුණාත්මක අධ්යාපනයක් ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ඇය අවධාරණය කළාය.
ප්රාථමික පාසල් නවීකරණ ව්යාපෘතියේ පළමු අදියර යටතේ දිවයින පුරා පාසල් 309ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්යාපෘතිය හරහා පාසල් ගොඩනැගිලි පමණක් නොව, ගෘහභාණ්ඩ සහ අනෙකුත් භෞතික සම්පත් ද විද්යාත්මක ක්රමවේදවලට අනුව දරුවන්ගේ අවශ්යතාවලට ගැළපෙන පරිදි සකස් කිරීමට විශේෂඥ කමිටු පත් කර ඇති බව ද අග්රාමාත්යවරිය වැඩිදුරටත් පැවසුවාය.
