සියලු පාරිභෝගිකයන්ට එක සමානව ඉන්ධන සහනාධාර ලබාදීම වෙනුවට, වඩාත් අවශ්‍යතාව ඇති ජනතාව සහ පොදු ප්‍රවාහන ක්ෂේත්රය ඉලක්ක කරගනිමින් (targeted subsidy) එම සහනාධාරය ලබාදීමේ වැදගත්කම පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විශේෂ අවධානයක් යොමුව ඇත.
මෙම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී, ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කරන ලද ගැසට් පත්‍රය සහ 2026 වර්ෂයේ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
මැදපෙරදිග යුද තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ ඩීසල් ඉන්ධන මිල සහනාධාරයක් ලබාදීම මෙන්ම අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා අතිරේක දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.
එමෙන්ම, ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය, මිල සූත්‍රය, පෞද්ගලික ඉන්ධන සමාගම්වල තරගකාරීත්වය සහ වාහන ටයර් ආනයනය සඳහා නව ප්‍රමිති හඳුන්වාදීම සම්බන්ධයෙන්ද කාරක සභා සාමාජිකයන් සහ නිලධාරීන් අතර අදහස් හුවමාරු වී තිබේ.
දේශීය ඉන්ධන වෙළෙඳපොළේ සියලු සමාගම් සඳහා සාධාරණ තරගකාරීත්වයක් ඇති කිරීමේ අවශ්‍යතාව සහ අස්වැසුම ප්‍රතිලාභී තේරීම් ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී අවධාරණය කර ඇත.
