ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින්, බස්නාහිර පළාතේ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ අපද්‍රව්‍යයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පවත්වා ඇති අතර, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීම මෙහි අපේක්ෂාවයි.
මේ වන විටත් ව්‍යාපෘතියට අදාළ ජලවිද්‍යාත්මක, සමාජයීය, පාරිසරික හා නීතිමය කරුණු ඇතුළත් ශක්‍යතා අධ්‍යයනයන් අවසන් කර ඇති අතර, අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීම දක්වා වන කාලරාමුවක් ද මෙහිදී සැලසුම් කර ඇත.
මෙමඟින් මුතුරාජවෙළ තෙත්බිම් පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමටත්, අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඇති වන ගංවතුර අවදානම පාලනය කිරීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අමාත්‍යාංශ සහ රජයේ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
