ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටත් තීරණාත්මක සාධකයක් බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. කොළඹදී පැවති විශේෂ වැඩමුළුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දැනට මෙරට භාවිත වන වාහන අතරින් විද්‍යුත් වාහනවල ප්‍රතිශතය පවතින්නේ සියයට එකක වැනි අඩු මට්ටමකය. පොසිල ඉන්ධන සඳහා වාර්ෂිකව වැය වන රුපියල් බිලියන ගණනක විදේශ විනිමය ඉතිරි කර ගැනීමට නම්, විද්‍යුත් වාහන භාවිතය ඉහළ නංවා ඒවා ආරෝපණය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදා ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විද්‍යුත් වාහන භාවිතයේ වර්ධනයට බාධාවක්ව පවතින ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට රජය පියවර ගනිමින් සිටී. විශේෂයෙන්ම විදුලි ඉල්ලුම අඩු දිවා කාලයේදී වාහන ආරෝපණය කිරීම සඳහා සහනදායී ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමටත්, නාගරික ප්‍රදේශවලින් පිටත ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන බලශක්ති අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ දේශගුණික සහ පිරිසිදු වායු පිළිබඳ සන්ධානය (CCAC) එක්ව සංවිධානය කරනු ලබයි. මෙහිදී ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය අර්කම් ඉල්යාස්, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපෝන්සු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
