රටේ ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම ආපදාවලින් හානි වූ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය කර ගැනීම මේ වන විට රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

මහනුවරදී මල්වතු සහ අස්ගිරි උභයවිහාරික මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේය. අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික නිලධාරීන් ඇතුළු මානව සම්පත් සපයා ගැනීමේ අවශ්‍යතාවය ඇය මෙහිදී අවධාරණය කළාය.

මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැක අග්‍රාමාත්‍යවරිය සුහද සාකච්ඡාවක නිරත විය.

එම අවස්ථාවේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, පවතින ගුරු හිඟය පියවීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව ද පැවසුවාය. ගුරු විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වන විට සිදුවන අතර, සමත්වන පිරිස ප්‍රායෝගික පරීක්ෂණයකින් පසු කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version