මානව ජාවාරම් වැළැක්වීම සහ ඊට එරෙහිව ක්‍රියාත්මක වීමේ අරමුණින්, ජාතික මානව ජාවාරම් මර්දන කාර්ය සාධක බලකාය විසින් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. මෙය දිවයිනේ ස්ථාපිත කෙරුණු සිව්වන දිස්ත්‍රික් මානව ජාවාරම් විරෝධී සංසදය වේ.

මීට පෙර කළුතර, ත්‍රිකුණාමලය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල මෙම සංසද පිහිටුවා ඇති අතර, 2026-2030 ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් මානව ජාවාරම් වැළැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි.

මෙම අවස්ථාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.කේ.සී. දිසානායක මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මෙන්ම ජාතික මානව ජාවාරම් මර්දන කාර්ය සාධක බලකායේ ලේකම් නීතිඥ ප්‍රියංගනී හේවාරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, කාන්තා හා ළමා සංවර්ධන නිලධාරීන් මෙම වැඩසටහනට එක්ව සිටි අතර, එහිදී වින්දිතයන් හඳුනාගැනීම සහ ඔවුන් ආරක්ෂා කිරීම සඳහා වන ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. ජාතික ප්‍රතිපත්ති රාමුව සහ දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාත්මක කිරීම් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් මෙවැනි ජාවාරම් අවම කර ගැනීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version