ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකාවේ සහ පුංචි තිරයේ අසමසම රංගන ශිල්පියෙකු වූ ජැක්සන් ඇන්තනී මහතාගේ ජන්ම දිනය අදට (ජූලි 08) යෙදී තිබේ. 1958 වසරේ උපත ලැබූ ඒ මහා කලාකරුවාණන් අප අතරින් වෙන්ව ගියද, ඔහු කලා ක්ෂේත්‍රයට දායාද කළ අමරණීය මතකයන් තවමත් රසික හදවත් තුළ නොමැකී පවතී.

සිය පියාගේ උපන්දිනය සිහිපත් කරමින් දියණිය මාධවී ඇන්තනී සිය මුහුණුපොතේ ඉතා සංවේදී සටහනක් තබා තිබුණි. “අප්පච්චි මේ ලෝකෙ උපන්නෙ අද වගේ දවසක. මට නැති වුණාට කමක් නෑ, අප්පච්චි හොඳින් නම්. ඉන්න තැනක සතුටින් ඉන්න මගේ පැතුම එච්චරයි” යනුවෙන් ඇය එහි සඳහන් කර තිබුණි.

ගුරු ගෙදර, චිට්ටි, අයෝමා, විසි දැල සහ ගිනි අවි සහ ගිනි කෙළි වැනි සිනමා කෘති හරහා ජැක්සන් ඇන්තනී මහතා තැබූ සලකුණ අතිමහත්ය. රංගනයට අමතරව ගායනයෙන් සහ වේදිකා නාට්‍ය කලාවෙන් ද ඔහු දැක්වූ දක්ෂතා අදටත් කලා ලොවේ නොමැකෙන සලකුණු ලෙස පවතී.

2023 වසරේ ඔක්තෝබර් මස 09 වැනිදා ඔහු අප අතරින් සමුගත්තේ සමස්ත කලා ක්ෂේත්‍රයටම පිරවිය නොහැකි හිස්තැනක් ඉතිරි කරමිනි. කෙසේ වෙතත්, ඔහුගේ උපන්දිනය සිහිපත් කරමින් රසිකයන් මෙන්ම කලාකරුවන් ද අද දින සමාජ මාධ්‍ය ඔස්සේ සිය ගෞරවය පුද කරමින් සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version