මගී ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රියදුරන් සහ කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දැයි පරීක්ෂා කිරීමේ ජංගම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර ඇත. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බස්නාහිර පළාතෙන් ආරම්භ කළ මෙම වැඩසටහන මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබේ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා පවසන පරිදි, බස්නාහිර පළාත තුළ පමණක් සිදුකළ පරීක්ෂණවලදී රියදුරන් සහ කොන්දොස්තරවරුන් 5,242 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 239 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු විය. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

මෙම වසර අවසන් වීමට පෙර පරීක්ෂණ ක්‍රියාවලිය දෙගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පොදු ප්‍රවාහනය යනු මගීන්ගේ ජීවිත සුරක්ෂිතව ගමන් කළ යුතු මාධ්‍යයක් බැවින්, රියදුරන්ගේ වගකීම මෙහිදී අතිශය වැදගත් බව බලධාරීහු පෙන්වා දෙති.

ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඇතුළු ආයතන රැසක් මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබා දෙයි. මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව රථ වාහන ධාවනය කිරීම මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්ය බවත්, එය මගීන්ගේ අයිතියක් බවත් බලධාරීහු අවධාරණය කරති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version