පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු අසුන වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

අදාළ ලිපිය මගින් පොන්නම්බලම් මහතා පෙන්වා දෙන්නේ, අර්ච්චුනා මන්ත්‍රීවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමාට ප්‍රසිද්ධියේ අපහාස කරමින් සහ තර්ජනය කරමින් සිටින බවයි. මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු සභාගර්භය තුළ තමා අසලම අර්ච්චුනා මන්ත්‍රීවරයා අසුන්ගෙන සිටීම තමාගේ කටයුතුවලට බාධාවක් බවද ඔහු පවසයි.

ස්වාධීන කණ්ඩායමකින් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකුට සාමාන්‍ය සම්ප්‍රදාය අනුව අසුන් පැනවිය යුත්තේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් පසුව බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත්, පවතින සම්ප්‍රදායට පටහැනිව ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින් අතර අර්ච්චුනා මන්ත්‍රීවරයාට අසුන් පැනවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරන පොන්නම්බලම් මහතා, කඩිනමින් මැදිහත් වී එම අසුන වෙනස් කර දෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version